පිරිවෙන් අධ්‍යාපනය

පිරිවෙණ යන වචනය බුද්ධ කාලයේ පටන් භික්ෂූන් වහන්සේ වාසය කළ ආරාමය හෝ කුටිය හැදින්වීම සදහා භාවිත කළ බව ත්‍රිපිටක සාහිත්‍යයේ සඳහන්වේ.සියවස් ගණනාවක් පුරා ලංකාවේ ක්‍රියාත්මක වන සාම්ප්‍රදායික අධ්‍යාපන ආයතනය පිරිවෙණයි. පිරිවෙණ් අධ්‍යාපනයෙන් මේ රටට කීර්තියක් ගෙනා ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර හා විනයධර භික්ෂූන් නිර්මාණය කරනු ලැබිණ. සිංහල , පාලි , සංස්කෘත වැනි සම්භාව්‍ය විෂයන් මෙන් ම බුද්ධ ධර්මය, ඉතිහාසය , ඡන්දෝලංකාරය, ජෝතිෂ්‍යය සහ තර්ක ශාස්ත්‍රය වැනි විෂයන් ඉගෙනීම හා ඉගැන්වීම පිරිවෙණේ මුඛ්‍ය කාර්යය විය.මෙම විෂයන් ගුරු භවතුන් විසින් අධ්‍යයනය කරමින් කුඩා සාමණේර භික්ෂූන් හට ඒවා සාකච්ඡා මාර්ගයෙන් සහ කටපාඩම් කරවීමෙන් ප්‍රගුණ කරවීම සිදුවූයේ පිරිවෙන් අධ්‍යාපනයෙනි. බුදුරාජාණන් වහන්සේ විසින් පනවා වදාළ විනය ශික්ෂා හුරුකරවමින් සමාජයට ආදර්ශවත් භික්ෂු නායකත්වයක් පුහුණු කරණ ලද්දේ පිරිවෙණ මගිනි.

ක්‍රි.පූ. පළමු වන සියවසේ දී දේවානම්පියතිස්ස රජු විසින් ඉදි කරන ලද කාලප්‍රාසාදය නම් ආරාමය ශ්‍රී ලංකාවේ ප්‍රථම පිරිවෙණ ලෙස සැලකේ. තවද මහ‍ා විහාරය සහ අභයගිරිය මෙරට පැවති කීර්තිමත් අධ්‍යාපන ආයතන දෙකකි.අනුරාධපුර රාජධානි සමයේදී දේශීය පමණක් නොව විදේශීය භික්ෂු පුහුණු මධ්‍යස්ථාන දෙකක් ලෙස ඒවා ප්‍රචලිත වී ඇත. කලකට පෙර මූලායතන ලෙස හැදින්වූ පිරිවෙන් අධ්‍යාපන මධ්‍යස්ථාන අටක් මෙටර ස්ථාපිතව තිබී ඇත. වර්තමානය දක්වා පිරිවෙන් අධ්‍යාපනය නොනැසී පවත්වා ගෙන යාමට පුරෝගාමී වූ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් මෙරට වර්තමාන පිරිවෙන් අධ්‍යාපන ප්‍රබෝධයේ ආදිකර්තෘ හැටියට අභිමානයෙන් යුතුව හැදින්විය හැකිය.

අතීතයේදී ස්වයං පාලනයක් යටතේ පැවති පිරිවෙණ, යටත් විජිත යුගයෙන් පසුව ශ්‍රී ලංකා ජනරජයේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතනයක් බවට පත් වී තිබේ.අද වන විට දිවයින පුරා රජයේ අනුමත පිරිවෙන් 753 ක් පමණ ක්‍රියාත්මක වන අතර එම පිරිවෙන්වල 60000 කට අධික පැවිදි ගිහි සිසුන් පිරිසක් හා 6000 කට වැඩි පැවිදි ගිහි ගුරු පිරිසක් ඉගෙනීම් ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරතව සිටිති. පිරිවෙන් පද්ධතිය තුළ මූලික පිරිවෙන් , මහ පිරිවෙන් සහ විද්‍යායතන පිරිවෙන් නමින් පිරිවෙන් තුන්වර්ගයක් ක්‍රියාත්මක වේ. ඉතිහාසය පුරා භික්ෂූන් වහන්සේලා පුහුණු කිරීම පිරිවෙන් අධ්‍යාපනයේ ප්‍රධාන අරමුණ වූ නමුත් මේ වන විට ගිහි පිරිමි දරුවන් සදහා අධ්‍යාපනය ලබා දීම ද පිරිවෙණ මගින් සිදු කෙරෙයි.